ශිලා ලේඛණ

විහාර මන්දිරය පිහිටි ප‍්‍රධාන ලෙනට අමතරව මහගල් පව්වෙහි තැනිත් තැන පිහිටි පරිවාර ලෙන් විශාල ප‍්‍රමාණයකි. ඒ අතර කාලයාගේ ඇවෑමෙන් මිහිමතට සමාන්තරව ගරා වැටී ඇති කිසියම් බදාමයකින් ඔපමට්ටම් කරන ලද ගල් පුවරුවකි. සිතුවම් ඇඳ තිබූ බවට අනුමාන කළ හැකි සායම් බොඳ වී ගොස් ඒවායේ රසායනික තත්තවය මත මතු වී ඇති බුද්ධ කායේ ඉහළ කොටස දැණුදු මනාව දර්ශනය වේ. මේ පිළිබඳ පරියේෂණ කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කියා සිටියේ අතීතයේ මේ ගල් ලෑල්ල සිරස් අතට තිබූ බැවින් චිත‍්‍ර ඇඳ ඇති බවත් ගරා වැටීම හේතුවෙන් වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වී ඇති බවත් ය.

තදාසන්න ප‍්‍රදේශවල එවැනි ගල් පුවරු විශාල පර්වතයටම සම්බන්ධව පිහිටා ඇත. ඒවායේ සෙල්ලිපි සකස් කිරීමට සූදානම් වූ බව කොටා ඇති රේඛ හා අක්‍ෂර කිහිපයක රූප සටහන් අනුව විශ්වාස කළ හැකිය. මෙම ලෙන් දුටු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහතකු පැවසූයේ මහනුවර ලෙන් විහාර අතර දක්නට ලැබෙන දුර්ලභ ගණයේ අවස්ථාවක් බවයි. එනම් සෙල්ලිපි ලිවීමට පෙර ගල සකස් කර ගන්නා ආකාරය ප‍්‍රදර්ශනය කිරීමට මා දැක ඇති හොඳම නිදර්ශනය කටාරංගල විහාරභූමියේ පිහිටා ඇති බවය.

මීට අමතරව බ‍්‍රාහ්මී අක්‍ෂර වලින් නිර්මිත සෙල්ලිපියක් කටාරංගල විහාරයේ තිබූ බවත්, පෙර කී ගල් පුවරු ගරා වැටීම හේතුවෙන් එය යට වී ඇති බවත් කියැවේ. කටාරංගල වෙහෙර සිට මයිල එකක් පමණ දුරින් පිහිටා ඇති ප‍්‍රසිද්ධ දූල්වල සෙල්ලිපි හතර බ‍්‍රාහ්මීය අක්‍ෂර වලින් ලියා ඇත. අනුරාධපුර යුගයේ මුල් කාල වකවානුවට අයත් මෙම සෙල්ලිපි වලින් පැහැදිලි වන්නේ ප‍්‍රාදේශීය රාජකීය නිළදරුවන් විසින් මහ සගනට පූජාකර ඇති බවකි. මෙහි ඇති 03 සෙල්ලිපි අග සිට මුලට කියවිය යුතු "බරෝෆ්ටි" ක‍්‍රමයක් භාවිතා කර ඇත.